මා පිළිබඳ පළමු වගන්තිය වීදි නාට්‍යකරුවකු යන්නයි

ප්‍රසන්නජිත් අබේසූරිය

581abc7c2cf80hරටේ භීෂණකාරී වාතාවරණවලදිත් ක්‍රියාකාරීව සිටි එක ම කණ්ඩායම වීදි නාට්‍ය කණ්ඩායමයි. ඔවුන් අතරෙන් බොහෝ අය අතුරුදන් වුවත් අද වනතුරුත් ඒ වීදි නාට්‍ය කණ්ඩායම් පැවතෙනවා. ඉදිරියටත් ඒ කණ්ඩායම් සමාජයේ පවතීවි.

හේ එක්වරෙක වේදිකාව, ටෙලි නාට්‍ය හා සිනමාව යන මාධ්‍ය තුන ම ජයගත් රංගන ශිල්පියෙකි. ප්‍රවීණ නාට්‍ය රචකයෙකි. අධ්‍යක්ෂවරයෙකි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. මේ වනවිට පහුර වීදි නාට්‍ය කණ්ඩායම පවත්වාගෙන යමින් ඒ සඳහා නායකත්වය ලබාදෙන ඔහු ප්‍රසන්නජිත් අබේසූරියයි. ඔහුගේ නවතම කෘතිය ‘ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය කලාව’ පසුගියදා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණීභාරත ශාලාවේ දී එළිදැක්විණි. ඒ පිළිබඳත්, වීදි නාට්‍ය කලාව පිළිබඳත් ප්‍රසන්නජිත් අබේසූරිය සමඟ ‘සරසවිය’ ට සිදුකළ සාකච්ඡාවකි.

* ඔබගේ ‘ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය කලාව’ කෘතිය එළිදැක්වීමට මූලික වූ කාරණය කුමක් ද?

මේ කෘතිය මගේ අතෙන් ලියැවෙන්නේ ශාස්ත්‍රපති උපාධිය නිමිතිකර ගෙනයි. ඒ සඳහා ලිවිය යුතු නිබන්ධ හයකින් එකක් සඳහායි මා මේ මාතෘකාව තෝරාගන්නේ. ඊට හේතුව ඒ මා වැඩි කාලයක් වීදි නාට්‍ය කලාවේ නියැළි සිටීමයි. එලෙස ලියූ නිබන්ධය ටික කාලයක් පැත්තකට දමලයි තිබුණේ. ඒ විශ්වවිද්‍යාලයේ කටයුතුත් සමඟ මා කාර්යබහුල වූ නිසා. නමුත් මෑතකදි යළිත් ඒ නිබන්ධය කෘතියක් ලෙස පළ කරන්නට මා උනන්දු කළේ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් විසින්. ඒ අනුව මා යළිත් එය කෘතියක් ලෙස මුද්‍රණය කිරීමේ දී විවිධ වූ වෙනස්කම් රැසක් සිදුකළා. මේ කෘතිය සඳහා තවත් එකතු කළ යුතු දේ එකතු කරමින්, යම් යම් කාරණා වර්ධනය කරමින් සම්පූර්ණ කෘතියක් ලෙස පාඨකයා අතට පත් කීරීමට මා උත්සුක වුණා.

* එහෙත් වර්තමානයේ විශ්වවිද්‍යාලවලින් කෙරෙන පර්යේෂණ කටයුතු පිළිබඳ සෑහීමකට පත්විය නො හැකියි නේද?

අදටත් විශ්වවිද්‍යාලවල විවිධ පර්යේෂණ කෙරෙනවා. ඒ වගේ ම සමහර විශ්වවිද්‍යාලවල එවැනි පර්යේෂණ සිදුනොවන බවත් සත්‍යයක්. කොහොම වුණත් එදා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් එළිදකින්නේ බොහොම කාලයක් ගිහින්. එවැනි අවස්ථාවලදි ඒ කෘතියට බොහෝ ප්‍රසිද්ධියක් ලැබුණා. එවැනි කෘතියකට බොහෝදෙනාගේ අවධානය යොමුවුණා. විවිධ කතිකාවත් ඇතිවුණා. නමුත් අද එවැනි කෘතියක් බිහිවුණත් කිසිවකුත් ඒ ගැන දන්නේ නැහැ. ඒ ගැන කතාබහක් ඇත්තේත් නැහැ.

* නමුත් ගැඹුරු ආකාරයෙන් කෙරෙන පර්යේෂණ අද නො කෙරෙන තරම්?

එදා මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්තයා කළ පර්යේෂණ වගේ පර්යේෂණ අද කෙරෙන්නේ නැති බව ඇත්තයි.

* අපේ සමාජයේ වීදි නාට්‍ය කලාව මුල් බැසගන්නේ කුමන කාරණයක් අරබයා ද?

70 දශකය කියන්නේ ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භයේ දේශපාලනික විපර්යාස රැසක් සිදුවුණු සුවිශේෂ දශකයක්. එහිදී 1971 තරුණ නැඟිටීම්, ඒවා අසාර්ථක වීම, එයට පදනම් වුණු ජනතා විරෝධී සියලු සමාජ, ආර්ථික හා දේශපාලනික සාධක තවදුරටත් එලෙස ම පැවතුණා. ඒ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කිරීමට යම් මාධ්‍යයක් අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් විදියටයි වීදි නාට්‍ය කලාව අපේ සමාජයට පිවිසෙන්නේ. වීදි නාට්‍ය කලාව බිහිවීමේ අනෙක් කාරණය නම් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කප්පාදු කර තිබීමත්, ජනතාවගේ ප්‍රශ්න කතා කළ හැකි ප්‍රබල මාධ්‍යයක් වූ නාට්‍ය කලාව ඒ වනවිටත් නාගරික මධ්‍යම පාන්තික ජනතාවගේ පමණක් රසවින්දන මාධ්‍යයක් බවට පත්වීමයි. එතැනදී ජනතාව නාට්‍යයක් නැරැඹීමට ප්‍රේක්ෂාගාරයට පැමිණෙනතුරු බලා නො සිට ඔවුන් ව සොයාගෙන ජනතාව අතරට යෑමට අවශ්‍ය නාට්‍ය කලාවක් වුවමනා වුණා. ඒ කාරණාවල ප්‍රතිඵලයයි අපේ රටේ වීදි නාට්‍ය බිහිවීම ආරම්භ කරන්නේ.

* ඊට මූලාරම්භය සපයන්නේ රංග ශිල්ප ශාලිකාවයි?

1970 වසරේ ධම්ම ජාගොඩ මහත්තයගේ මූලිකත්වයෙනුයි රංග ශිල්ප ශාලිකාව ආරම්භ වන්නේ. ඊට පස්සේ එහි උපදේශකවරුන් වශයෙන් මහාචාර්ය සරච්චන්ද්‍ර හා ගාමිණි හත්තොටුවගම යන මහත්වරුනුත් කටයුතු කරනවා. 74 වසරේ නවක සිසුන් කණ්ඩායමකට දේශනයක් සඳහා එහි පැමිණෙන ආචාර්ය සෝමරත්න බාලසූරිය විකල්ප නාට්‍ය ගැන පැවැත් වූ දේශනයයි ඔවුන්ට යම් අදහසක් සපයන්නේ. එනම් නව නාට්‍ය කලාවක අවශ්‍යතාව පිළිබඳ සැලකිලිමත් වන මේ ශිෂ්‍යයන්ට ඔහුගේ දේශනයෙන් ලැබෙන නැවුම් අදහසයි වැදගත් වන්නේ. ඒ ගැන අනෙක් ගුරුවරුන්ට පැවසුවත් ඔවුන් ඒ ගැන ඒ තරමට ම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඊට පසුව මේ තරුණයන් පිවිසෙන්නේ ගාමිණි හත්තොටුවගම ළඟටයි. ඒ වනවිටත් ගාමිණි හත්තොටුවගමත් සිටින්නේ පර්යේෂණාත්මක රංග කාර්යයන්වල නියැළෙමින්. මේ දෙපිරිසගේ අදහස පෑහීම හේතුකර ගනිමින් ඔවුන්ට නායකත්වය ලබාදෙන්නේ ගාමිණි හත්තොටුවගමයි. ඔහුගේ නායකත්වයෙන් යුතුව විවෘත වීදි නාට්‍ය කණ්ඩායම නම් වූ ශ්‍රී ලාංකික ප්‍රථම වීදි නාට්‍ය කණ්ඩායම බිහිවන්නේ ඉන්පසුවයි.

* තාක්ෂණයෙන් දියුණු වර්තමානයේ පවා ප්‍රේක්ෂකයන්ගෙන් වීදි නාට්‍යවලට ලැබෙන ප්‍රතිචාරය ඉමහත්. එහෙම වන්නේ ඇයි?

මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවය එයයි. ඔවුන් වඩාත් කැමැත්තක් දක්වන්නේ සජීව දේ නැරැඹීම සඳහායි. අදටත් කුමන කලාවක් පැමිණියත් නාට්‍ය කලාව නිරුපද්‍රිතව තිබෙන්නේ ඒ සජීව ව කලාව දකින්නට තිබෙන කැමැත්ත නිසයි. වීදි නාට්‍ය හා වේදිකා නාට්‍ය අතරත් විවිධ වූ වෙනස්කම් රැසක් තිබෙනවා. වේදිකා නාට්‍යයක් නැරැඹීමට ප්‍රේක්ෂකයා අනිවාර්යයෙන් ම රඟහලකට පැමිණිය යුතුයි. එහෙත් වීදි නාට්‍යය තමන්ගේ ගේ දොරකඩට ම නැතිනම් ගමට ම ඇවිත් පෙන්වන නාට්‍යයයි. ඒ සජීව දේ නරඹන්නට මිනිස්සුන්ගේ රුචියයි වීදි නාට්‍යයේ තිබෙන බලය වන්නේ. ඒ නිසා කුමන අවස්ථාවක හෝ බෙරයක් වාදනය කරමින් ඔවුන් අතරට පිවිසුණ ද? ඒ ඇසුණු සැණෙන් කුමන දේ රූපවාහිනියේ නැරැඹුවත් එය වසාදමා ඇවිත් පැයක්, දෙකක් හෝ ඒ දෙස බලාගෙන සිටීමට ඔවුන් අමතක කරන්නේ නැහැ. මේ නිසා වීදි නාට්‍ය කලාවේ තිබෙන්නේ අපූර්වත්වයකින් හා ආකර්ෂණීය බවකින් යුක්ත ගුණයක්. මේ නිසා ඉදිරියේදීත් වීදි නාට්‍ය කලාව මිනිස්සුන් අතරෙන් ප්‍රතික්ෂේප වන්නේ නැහැ.

* එදා බොහොම වැදගත් පණිවුඩ ජනතාව අතරට රැගෙන යන්නට තැනුණු වීදි නාට්‍ය කලාවේ අරමුණු අද වනවිට වෙනස් මඟක් ගත් බවයි පෙනෙන්නේ?

හොඳ හැමදෙයකට ම අද වෙළෙඳ පොළ වටිනාකමක් ලැබිලා. වීදි නාට්‍ය කලාවේ තිබෙන ප්‍රචාරකවාදී ජනතා ආකර්ෂණීය ගුණය කියන්නේ අපූරු වෙළෙඳ පොළ වටිනාකමක් තිබෙන මාධ්‍යයක්. ඒ කියන්නේ රූපවාහිනියක, පුවත්පතක දැන්වීමක් ප්‍රචාරය කරනවාට වඩා මිනිස්සුන්ට දැනෙන්න, දනවන්න ඔවුන් සමීපයට ගොස් කතා කළ හැකි මාධ්‍යක් ලෙසයි වීදි නාට්‍ය කලාව ගැනෙන්නේ. ඒ නිසා බොහෝ පිරිස් එහි තිබෙන ප්‍රචාරකවාදී ගුණය ගැන දන්න නිසා වීදි නාට්‍ය ප්‍රචාරක අරමුණු වෙනුවෙන් යොදවනවා. මෙහි තිබෙන ප්‍රචාරකවාදී ගුණය පමණක් ගත් අය දේශපාලන ප්‍රචාරයට, නැත්නම් වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරයට, වෙළෙඳ ආයතන ප්‍රචාරයට වීදි නාට්‍ය කණ්ඩායම් යොදා ගන්නවා. නමුත් එවැනි කණ්ඩායම්වලින් බිහිවන නිර්මාණවල කොයිතරම් ගුණාත්මක බවක් තිබෙනවා ද? නැද්ද? යන්න පිළිබඳ අපට තිබෙන්නේ ගැටලුවක්. නමුත් වීදි නාට්‍ය කලාවේ මූලික අරමුණ පිළිබඳ හෝ වීදි නාට්‍ය කලාව යනු කුමක් ද? යන්න පිළිබඳ දැනුම්වත් බවකින් ආරම්භ කළ කණ්ඩායම් අද දක්වාත් මේ තත්ත්වය වෙනස් නොකරමින් සිය කණ්ඩායම් පවත්වාගෙන යනවා. ඒ ගුණාත්මක බව රඳා පවත්වා ගනිමින්, වැඩමුළු පවත්වමින්, අභ්‍යාසවල යෙදෙමිනුයි ඔවුන් ඒ වීදි නාට්‍ය පවත්වාගෙන යන්නේ.

* එහෙම වුණොත් එවැනි වීදි නාට්‍ය කණ්ඩායම් කලක් යද්දි අභාවයට යාවි ද?

එහෙම වෙයි කියලා මා සිතන්නේ නැහැ. මොක ද වීදි නාට්‍ය කණ්ඩායම් එලෙස අභාවයට යනවා නම් 74 වසරේ පටන් අද දක්වා ඒවා අඛණ්ඩව පවත්වා ගෙන පැමිණීමට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ පැමිණුණු ගමන එදා අද වගේ නොවෙයි. රටේ භීෂණකාරී වාතාවරණවලදිත් ක්‍රියාකාරීව සිටි එක ම කණ්ඩායම වීදි නාට්‍ය කණ්ඩායමයි. ඔවුන් අතරෙන් බොහෝ අය අතුරුදන් වුවත් අද වනතුරුත් ඒ වීදි නාට්‍ය කණ්ඩායම් පැවතෙනවා. ඉදිරියටත් ඒ කණ්ඩායම් සමාජයේ පවතීවි.

* ඔබ වර්තමානයේ කුමන මාධ්‍යයක සැරිසැරුවත්, ඔබගේ රංගනයේ මූලබීජය හටගන්නේ වීදි නාට්‍ය ඔස්සේ ද?

අද මා කුමන මාධ්‍යක රඟපෑවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු විදියට සිටියත්, මා පිළිබඳ ලියන පළමු වගන්තිය නම්, මා වීදි නාට්‍යකරුවකු යන්නයි. මා වඩාත් අයිති වන්නේ වීදි නාට්‍ය කලාවටයි. මා වඩාත් ප්‍රබල ලෙස නියැළුණු මාධ්‍යය ලෙස, මට වඩාත් සමීප මාධ්‍යය ලෙස, මට වඩාත් සේවයක් කළ හැකි මාධ්‍යය ලෙස, මගේ කලා භාවිතයේ තිබෙන යම්කිසි දාර්ශනික ස්වභාවයට වඩාත් ළං විය හැකි සහ කලාව කරන අරමුණට ළඟා විය හැකි හොඳ ම මාධ්‍යය වීදි නාට්‍යයයි. ඒ නිසයි මා වීදි නාට්‍යකරුවකු ලෙස මාව හඳුන්වන්නේ. මා නියැළෙන අනෙක් සියලු ම මාධ්‍ය අයත් වන්නේ දෙවැනි ස්ථානයටයි.

* පහුර වීදි නාට්‍ය කණ්ඩායම ආරම්භ කරන්නේත් ඔබයි?

මුලින් ම මා ඇතුළත් වන්නේ ගාමිණි හත්තොටුවගම ආරම්භ කරන ලද විවෘත වීදි නාට්‍ය කණ්ඩායමටයි. එහෙත් 1998 වසරේ දී පමණ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමත් සමඟ ඇතිවුණු මතවාදීමය ගැටලුවක් මතයි අප ඉන් ඈත් වන්නේ. එසේ වෙන්ව ගෙවුණු කාලය ඇතුළේ දී වීදි නාට්‍ය කිරීමේ දැඩි උවමනාවක් හා අවශ්‍යතාවක් අපට ඇති වෙනවා. ඒ අදහස සපුරා ගැනීමේ අදහසෙනුයි නව නාට්‍ය කිහිපයක් නිර්මාණය කරමින් පහුර වීදි නාට්‍ය කණ්ඩායම ආරම්භ කරන්නේ. පසුකාලීනව පහුර වීදි නාට්‍ය කණ්ඩායමට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් මෙන්ම නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ රංගන දායකත්වයත් ලැබෙනවා.

* අද වනවිට බිහි වී තිබෙන වීදි නාට්‍ය කණ්ඩායම් අතරෙන් ඔබගේ වීදි නාට්‍ය කණ්ඩායම වෙනස් වන්නේ කෙසේ ද?

වීදි නාට්‍යයේ නිදහස් රංග ශෛලිය වගේ ම ජනරංග ශෛලියේ ආභාසයත් මනාව සංකලනයෙනුයි අපේ කණ්ඩායමේ නාට්‍ය නිර්මාණය වුණේ. ඒ කාරණය අනෙක් වීදි නාට්‍ය කණ්ඩායම් අතරෙන් පහුර වීදි නාට්‍ය කණ්ඩායම වෙනස් වීමට හේතුවක් වුණා. අප නිර්මාණය කරන ලද නාට්‍ය ජාත්‍යන්තරය පවා නියෝජනය කළා. ඒ ‘හුටපට ලටපට’ නාට්‍යයයි. එය පිළියන්දල අධ්‍යාපන කලාපයේ පාඨශාලා ආචාරිනී චන්ද්‍රිකා පතිරාජ විසිනුයි ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද්දේ. ඒ අනුව එය 2005 වසරේ දී පාකිස්ථානයේ ලොහෝර් නගරයේ රාෆි – ෆියර් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ ශ්‍රී ලංකා නියෝජනයක් ලෙස රඟ දැක්වුණා.

(සරසවිය පුවත්පත ඇසුරෙනි)

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar