සරණ අහම්බෙන් නළුවෙක් වුණු හැටි

සරණ අහම්බෙන් නළුවෙක් වුණු හැටිසරණට නඩු ගොඩකි. සරණ මීයෝ කැරපොත්තො මරණවාට සෝරත පොඩි හාමුදුරුවෝ කැමැතිම නැත. ඒත් හීන් බබා සීයා නම් කියන්නේ සරණ මීයන් ඇල්ලිය යුතු බවයි. සරණ මඩ නාගන්න බව කියන සෝරත හාමුදුරුවන්ගෙන් තවත් පැමිණිල්ලකි. හීන් බබා සීයාගෙ සරමේ සරණ ජරා කරන බවට තවත් පැමිණිල්ලකි. කොච්චර කිව්වත් සරණ හදන්නට බෑ කියා සෝරත හාමුදුරුවන් කියද්දී ඒ සියල්ල අසා සිටින ලොකු හාමුදුරුවන් කියන්නේ සරණට සරණගේ පාඩුවේ ජීවත් වෙන්නට ඉඩ හරින ලෙසය. ලොකු හාමුදුරුවන් එසේ කීවත් සරණට සෝරත හාමුදුරුවන්ගෙන් නම් ගැලවිල්ලක් නැත. ඒ සරණට ඇති ආදරේ වැඩිකමටයි.

සරණ සෝරත හාමුදුරුවන්ගේ පන්සලට ලැබෙන්නේ තවත් වැඩිහිටියකු කළ වරදකිනි. ගෙදරක ඉපදුණ බළල් පැටියකු පොලිතින් උරයක දමා පන්සල ළඟ කවුරුන් හෝ ගෙනවිත් දමා තිබිණි. සෝරත පොඩි හාමුදුරුවෝ බළල් පැටවා පන්සලට ගෙන ගියේය. බළල් පැටවා සරණ වූයේ ඉන්පසුවය.

සිඳු නාට්‍යයේ සරණගේ කතාව එය වුවත් සරණට රඟන නළු සරණගේ කතාව නම් ඊට වඩා ගොඩක්ම වෙනස්ය. සරණගේ ඇත්ත නම පැටීය. පැටී උපන්නේ පානදුරේ ගෙදරකයි. ඒ තවත් සහෝදර ුපැටවුන් තුන් දෙනෙකු සමගය. පැටීගේ වාසනාවකට හෝ අවාසනාවකට ඒ සහෝදර පැටවුන් තුන් දෙනාම මිය ගියහ. ඒ නිසා පැටවුන් හතර දෙනෙකුගේ කිරි අම්මාගෙන් තනිවම බී ඉක්මනින් ලොකු වුණේය.

පැටීගේ ගෙදර හිමිකරු වුණේ සමන් එදිරිමුණිය. ඔහුද සතා සීපාවුන්ට ආදරේ කරන සුන්දර හදවතක් ඇති තරුණ ලේඛකයෙකි. පැටී ඉපදෙන්නටත් පෙර ඔහු දිගු කතා මාලාවක් ලියන්නට මුල පුරා තිබුණි. ඒ ටෙලිනාට්‍ය නිෂ්පාදකයකු වන ජානක සිරිවර්ධනගේ කතා තේමාවකටය.

“අන්න ඒ කතා තේමාව ඇතුළෙ තිබුණා සිඳු හිතවත් වෙනවා ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ එක්ක කියලා. ඉතින් ඒ පොඩි හාමුදුරුවෝ කොයි වගේද කියලා මං හිතුවා. එතැනදි තමයි මම හිතුවේ පොඩි හාමුදුරුවන්ට සරණ කියලා පූසෙක් ඉන්න බව. පූසෙක් කොහෙන්ද පන්සලට එන්නේ. සමහර බෞද්ධ මිනිස්සු ගෙදර පූසි පැටව් දැම්මම ටිකක් හැදෙනකල් ඉඳලා පිටතට පේන්නෙ නැතිවෙන්න කළු මල්ලක දාලා ශ්‍රද්ධාවෙන් පන්සලේ ගේට්ටුව ළඟ තියලා යනවා. පොඩි හාමුදුරුවන්ට සරණ ලැබෙන්නෙත් අන්න එහෙමයි.”

ඒ විදිහට ලියවුණ කතාවෙ පළවෙනි දර්ශනේ පටන් ගන්නෙ පොඩි හාමුදුරුවන්ගෙනුයි, සරණගෙනුයි. නාට්‍යය රූගත කළේ පොල්පිතිගම පන්සලකයි. සරණගෙ චරිතෙ රඟපාන්න පූස් නළුවෙක් හොයාගන්න නාට්‍යය කණ්ඩායමට ඒ තරම් අමාරු වූයේ නැත. ඒ පන්සලේම චූටි පූස් පැටවකු සිටි නිසාය.

“ එහෙම හිතාගෙන හිටියට පන්සලේ හිටපු පූස් පැටියා හීලෑ සතෙක් නෙවෙයි කියලා දැනගත්තේ අපි වැඩ පටන් ගත්තට පස්සේ. පොඩි ළමයින්ට හුරු නෑ. හාමුදුරුවන්ට කීකරු නෑ. අතට ගත්තම පහුරු ගාලා සූරලා පැනලා දුවනවා. ඒ හින්දා මේ පූස් පැටියා නළුවෙක් කරන්න හරි අමාරු වුණා. පන්සලේ පූස් පැටියා ඒ රූගත කිරීම් ටිකේ චරිතයක් කරගත්තෙ හරි අමාරුවෙන්. සමහර සීන් මගඇරිලත් ගියා ඒ හින්දා. ඔය අතරේ පැටී ඉපදිලා ටිකක් ලොකුත් වෙලා. අපේ නෝනගෙ මතුගම මහගෙදරට එයාව ඉල්ලුවා අපේ ගෙදර තවත් දෙන්නෙක් ඉන්න හින්දා. දරුවන්ගෙ අකැමැත්තෙන් මම පැටීව මතුගම අරන් ගියා. එදාම මට ජානක කතා කළා. නාට්‍යයේ ඉතුරු ටික කරගන්න පූසෙක් හොයා ගන්නෙ කොහොමද ඇහුවා. මගේ හිතකවත් තිබුණෙ නෑ පැටීව සරණ කරන්න, ඒත් මට කියවුණා පූසෙක් නම් අපේ ගෙදරත් හිටියා. කලින් කිව්වා නම් දෙන්න තිබුණා. දැන් එයාව මම මතුගම අරන් ආවා කියලා. ඒ වතාවෙ ජානක කිව්වා කල් ඇතිව තමයි මං කිව්වේ.. හෙට ෂූටිං.. මං දැන් මතුගම එනවා.. ඔය පූසා මට දියන් කියලා… ජානක එයාගෙ පුතත් එක්ක හයිවේ එකේ මතුගම ආවා. මං බදුරලියෙ ඉඳලා පැටී ගෙනත් ඒ ගොල්ලන්ට දුන්නා ෂූටිං ඉවර කරලා මට ආපහු දෙන්න කියලා.”

පැටී සරණ වී නළුවෙක් වූයේ ඒ විදිහට අහම්බෙනි. ඒත් අද ලංකාවෙම ආදරය සරණට ලැබී ඇත. මිනිසුන් නළුවන් කරන්නට පහසුය. ඒත් කකුල් හතරේ සතෙක් නළුවෙක් කරන එක මොනතරම් අමාරුද කියලා මාවතගම පන්සලේ බළල් පැටවා කැමරාව ඉදිරියට ගෙන ආ මොහොතේ නාට්‍ය කණ්ඩායමේ කාටත් සිතුණි. ඒත් අලුත් නළු සරණ වෙනුවෙන් ඒ තරම් වෙහෙස වන්නට සිදුවූයේ නැති බව කියන්නේ සිඳූ අධ්‍යක්ෂ තිළිණ බොරලැස්සයි.

“දෙවනුව අපට ලැබුණ සරණ හරිම කීකරුයි. කාගෙ ළඟත් බයක් සැකක් නැතුව ගැවසුණා. සරණ තිරිසන් සතෙක්නේ. කතා කළාම කැමරාව දිහා බැලුවට, ළඟට ආවට, ඤාව් කිව්වට මිනිස්සුන්ගෙන් වගේ අපට ඕන ඇක්ෂන් එක ඒ වෙලාවටම සතාගෙන් ගන්න බෑ. අපි එයා වෙනුවෙන් කැමරා එකක් දාලා මොනවද කරන්නෙ කියලා බලාගෙන ඉන්නවා. ඒ විදිහට ගන්න ඇක්ෂන් පස්සෙදී ගළපනවා. මුල් කාලෙදි නම් සරණ ලොකේෂන් එකට ගෙනාව වෙලේ ඉඳලා අපි ඇහැගහගෙන හිටියෙ. එයාව බලා ගන්න වෙනම කෙනෙක් තිබ්බා. කොහේහරි යයිවත් කියලා. දැන් එයාට ලොකේෂන් එක හුරුයි. නිදැල්ලේ ඉන්නවා. විශේෂ අවධානයක් නෑ. කතා කළාම එනවා. සරණ කිව්වම හොඳට තේරෙනවා. අපේ සෙට් එකත් සරණට හරි ආදරෙයි. ”

නාට්‍ය කණ්ඩායම සරණට ආදරේ වගේම එතැන සරණට විශේෂයෙන් ආදරේ කරන්නේ සෝරත පොඩිහාමුදුරුවෝය. මුලදී නම් සෝරත පොඩි හාමුදුරුවෝ වෙන පුංචි කවීශ සරණ අල්ලන්නටත් බය වුණේය. ඒත් දැන් කවීශ එක්ක සරණ හොඳටම යාළුය.

“සරණ හොඳ පූස් පැටියෙක්. අපේ ගෙදර සත්තු හදන්නෙ නෑනේ.. ඒකයි මං සරණව ඉස්සරවෙලාම වඩාගන්න බයවුණේ.. මම ඉස්සරවෙලාම වඩාගත්ත පූස් පැටියා සරණ. දැන් සරණ මාත් එක්ක යාළුයි. කතා කළාම ළඟට එනවා… හැබැයි සරණ කොච්චර කිව්වත් හැදෙන්නෙ නම් නෑ.. කැරපොත්තො මීයො අල්ලනවනේ..” සෝරත පොඩි හාමුදුරුවන්ගේ ඒ ප්‍රශ්නෙට නම් උත්තරයක් නැත. ඒ හැම සරණ කෙනෙක්ගෙම හැටි එහෙම නිසාය.

“ඇත්තටම අපේ පැටී දැන් සරණ කියන නමට හුරුවෙලා ඉන්නේ. වාහනවල යන්නත් හුරුයි. කැමරාවලට වගේම කණ්ඩායමේ කවුරුත් හුරුයි. ගස් නගින්නත් පුරුදු වුණා. සරණත් දැන් ෂූටිං යන නළුවෙක්. පානදුරේ ඉඳලා කුරුණෑගල පොල්පිතිගම, බණ්ඩාරගම, හොරණ වගේ පැතිවලට සරණ යනවා. ෂූටිං ඉවර වුණාම රෑ කීයට හරි මම සරණව ගෙදර එක්ක එනවා. සමහරදාට රෑ 12 ටත් ගෙදර එනවා. පහුගිය දවසක අපි ෂූටිං ඉවරවෙලා එන ගමන් කෑම කන්න රෙස්ටූරන්ට් එකකට ගියා. සරණ හිටපු කූඩෙත් අපි මේසෙ ළඟින්ම තියාගෙන හිටියේ. අල්ලපු මේසෙක හිටපු අය කිව්වා “සරණ වගේම පූසෙක්” කියලා. අපේ මේසෙන් කිව්වා ”මේ ඒ සරණ තමයි” කියලා. ඒ වෙලාවෙ සරණට හරිම ප්‍රතිචාර. කට්ටිය සරණගෙ ෆොටෝ ගන්නවා. සරණ මේස වටේ ගියා.. පූසෙක් වුණත් සරණට එහෙම ආදරේ කරන අය ඉන්නවා දැක්කම හරිම ආස හිතෙනවා. සරණගෙ නියම අයිතිකාරයෝ මගෙ අසොල් නිබ්බුත දුවයි, ඔසඳ සිද්ධාර්ථ පුතයි. අපේ පොඩි දෙන්න සරණ රඟපාන එක ගැන සතුටු වෙනවා. ඒත් ඒ දෙන්නට පුංචි බයක්, දුකක්, ඉරිසියාවක් තියෙනවා. බය කවුරුහරි සරණ අයිතිකරගනියි කියලා. දුක දැන් නිතරම සරණ ගෙදර නැති හින්දා. ඉරිසියාව එයාලගේ හුරතලා වෙන අය ළඟ හුරතල් වෙවී ටිවී එකෙයි පත්තරෙයි යන හින්දා.. බුද්ධාගමට අනුව බැලුවම මොනවාහරි පාපකර්මයක් හින්දා සරණ තිරිසනෙක් වෙලා ඉපදුනත් සරණ ඒ අතින් වාසනාවන්තයි.. දැන් සරණව මුළු රටම දන්නවා. හැමෝම ආදරේ කරනවා. එයා මිනිස්සු එක්ක ගැවසෙනවා. වැඩ කරනවා. මම ප්‍රාර්ථනා කරන්නේ කවදාහරි සරණටත් මිනිස් ආත්මයක් ලැබිලා සසරින් එතෙර වෙන්න ලැබේවා කියලයි. ”

සමහරවිට එය සමන්ගේ පමණක් නොව සරණට ආදරේ කරන කොයි කාගෙත් ප්‍රාර්ථනාව වන්නට පුළුවන. කොහොම වුණත් බළල් පැටවකු වූ සරණ එක රැයකින් නළුවෙකු වී මේ රටේ ජනතාවගේ හදවත්වල ලැගුම් ගන්නට තරම් වාසනාවන්තයෙක් වුණේය.
බියංකා නානායක්කාර | (ඡායාරූප වෙනුර චන්ද්‍රමාලිත)

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar