ගම්පහ පුරවරයේ පැතිරුණු කාම(ර) කඩවල ඇත්ත කතාව

Gampaha Class Storyඅපේ රටේ බොහෝ දෙනෙක්‌ බොහෝ දේ ‘අර්බුද’ බවට පත් කර ගෙන තිබේ. ඒ නිසාම සමහර ප්‍රශ්න ‘ජාත්‍යන්තර අර්බුද’ බවට පත් කර ගන්නට අපේ අය සමත්ව සිටිති. පිට පිට කිහිපවරක්‌ ම ‘ගූගල්’ (Google) ගොස්‌ ‘සෙක්‌ස්‌’ සොයා කප් ගසන්නට අපට හැකි වුණේ ඒ නිසාය. හැංගි හොරා සෙක්‌ස්‌ සොයා යන අපට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බොහෝ අර්බුද අත හැරෙන්නේ ඒ නිසා ය. මේ කියන්නට යන්නේ එවැනි අතහැරුණු කතාවකි.

ලංකාව සංචාරක පාරාදීසයකි. මේ රටේ හතරදිග්භාගයේ කවර තැනකට ගිය ද සංචාරක පුරවරයක්‌ හමුවේ. එහෙත් බස්‌නාහිර පළාතේ ගම්පහ නගරය සංචාරකයන්ගෙන් මඟහැරුණු නගරයකි. සංචාරකයන් නැති ගම්පහට ‘හෝටල්’ වලින් අඩුවක්‌ නැත. නිකම් හෝටල් නොව ගෙස්‌ට්‌ හවුස්‌ ය. මේ ‘කාමර කඩ’ වලින් ගම්පහ පිරී ඇත්තේ සංචාරක කර්මාන්තය නඟා සිටුවන්නට නොවේ.

ගම්පහ පුරවරයේ ඇති කාමර කඩ වලට ගනුදෙනුකරුවෝ බොහෝ ය. අවුවට වේලන, වැස්‌සට තෙමෙන මේ ගෙන්දගම් පොළවේ කාමර කඩ වලට එන අමුත්තන් සොයා යන්නේ කම් සැපය. ගැහැනු හෝ පිරිමි ලිංගික ශ්‍රමිකයන් පටන් පෙම්සුව විඳින පෙම්වතුන්, තහනම් ගහේ ගෙඩි කන අය දක්‌වා එකී මෙකී බොහෝමයකගේ කෙම්බිම ගම්පහ පුරවරයයි. එහි ඇති ගෙස්‌ට්‌ හවුස්‌ තොගය මෙපමණකැයි කියන්නට බැරිය. රූම්ස්‌ යෑයි ඉදිරියෙන් බෝඩ් ලෑලි එල්ලූ ලැගුම්වල සිට තේ කඩයක, තිර රෙද්දකින් වැසූ අහුමුලු දක්‌වා ‘කාමර කඩ’ පැතිර තිබේ. සියල්ල අතේ ඇති ගාණට සිතේ හැටියට පුළුවන්ය. රුපියල් දෙසීයේ සිට රුපියල් දෙදහස, තුන්දහස හෝ ඊට වැඩි ඕනෑම මිලකට කාමර කඩ ලබා ගත හැකිය. කන් අඩි පැලෙන්නට සිංදු දැමූ තේ කඩයක තිර රෙද්දෙන් මුවා කළ කොටසක දැමූ ඇඳ කබලක සමහරක්‌ විට පැදුරු කබලක වුව ආ කාරිය කරගන්නට මේ කිසිවකුත් පැකිලෙන්නේ නැත.

අත්හැර දැමූ ගොඩනැඟිලිවල එළන ලද පැදුරු කඩමාල්ල ගම්පහ නගරයේ රූම් ය (Rooms) එමෙන්ම ඒ. සී. කළ කාමරයක සුවපහසු මෙට්‌ටයක්‌ වුව වියහැකිය. මේවාට කැමැති ආකාරයකට ගෙවිය හැකිය. සමහරක්‌ තැන්වල කෙළින්ම පිළිගැනීමේ කවුන්ටරයෙන් මුදල් අය කරයි. සමහරක්‌ ඒවාට සල්ලි දිය යුත්තේ බ්‍රොක්‍රර්ටය. සමහරක්‌ තැන්වල ගනුදෙනු ඊසි කෑෂ් හරහා ය. තවත් තැන්වල දොර විවර වන්නේ බැංකු ගිණුමේ මුදල් තැන්පත් කළ රිසිට්‌පතටය. තවත් තැන්වලට ලිංගික සේවයකින්ම ගනුදෙනු පියවිය හැකිය. මේ ‘කාමර’ නීති සංග්‍රාමයේ ඇත්තේ එකම නීතියකි. ඒ තැනේ හැටියට ඇනේ ගැසීමේ නීතියයි, න්‍යායයි.

ගම්පහ නගරයම කාමරවලින් වැසී තිබුණ ද, කොතරම් අකටයුතුකම් සිදු වුවද පොලිස්‌ නීතිය ක්‍රියාත්මක වන වගක්‌ පෙනෙන්නට නැත. එසේ වූවා නම් බොහෝ කාමර කඩ වසා දමා බොහෝ කල් ය.

කාමර කඩ (Rooms) කාර්ය බහුල වන වේලාවන් ගැන අපි නිරීක්‍ෂණය කළෙමු. කාමර කඩ බොහොමයක වැඩ මුරය ආරම්භ වන්නේ උදැසන 8.00 සිටය. ඒ වේලාව තුළ කාමර කඩවලට පැමිණෙන්නේ දරුවන් පාසල් ගෙන එන, ඊට පසුව පාසල නිමවන තුරු ගේට්‌ටු මුරකරන මවුපියන්ය. සතියේ දිනවල අමතර පන්ති යන ගැටවර ගැටවරියන්ගේ ‘හොඳම ටියුෂන්’ ඇත්තේ මේ කාමර කඩ තුළය. පාසල් වල ප්‍රාථමික ශ්‍රේණි පෙරවරු 11.30 – 12.00 ත් අතර කාලයේ අවසන් වන බැවින් බොහෝ දෙනකු කාමර අතහැර යති. ‘අමතර පංති’ සවස්‌වන තුරු තිබෙන නිසා ගැටවර ගැටවරියන් කලබල වන්නේ නැත. කෑම පැයේදී ඊළඟ වැඩමුරය ඇරඹේ. ඒ ගම්පහට ආසන්න රජයේ සහ පෞද්ගලික ආයතනවල බොහෝ දෙනකු වෙනුවෙනි.

කෑම පැයේදී අහල පහල ත්‍රිරෝද රථවලට වැඩ වැඩිය. නෝනාත් මහත්මයාත් ප්‍රවේසමෙන් කාමරයට ගෙන එනවා මෙන්ම ප්‍රවේසමෙන් නැවත කන්තෝරුව අහල පහලට ගෙන යැම ද කළ යුතුය. නෝනා බහින්නේ තව තැනකය. මහත්තයා වෙන තැනකය. සිස්‌ටම් එක එහෙමය. ගම්පහ ත්‍රිරෝද රථ ගාල්වල මෙවැනි රසකතා එමටය. ඒ කෑම පැය තහනම් ගහේ ගෙඩිබලන උදවියගේ රස පැය බව ඒ කවුරුත් දනිති. අමතර පංති එන අයගේ ජනප්‍රියම දවස්‌ සෙනසුරාදා ඉරිදා ය. කාමර කඩ වල ඒ දවස්‌වලට ඇඟිලි ගසන්නට ද ඉඩ නැත. බොහෝ ලැගුම්හල්වල ලිංගික ශ්‍රමය විකුණන කාන්තාවෝ ද සිටිති. එක එක වයසය. එක එක මිල ගණන් ය. මේ උදවිය කලඑළි බහින්නේ රාත්‍රිය උදාවන විටය. මේ බොහෝ තැන්වල සිදුවන දේ බරපතළ සමාජ ගැටලු ගණනාවක්‌ නිර්මාණය කරයි. ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ ඒ නිසාය.

බොහෝ ලැගුම්හල්වල රහසිගතව වීඩියෝ කැමරා සවිකර ඇත. කාමරයක්‌ තුළ සිදුවන බොහෝ පෞද්ගලික දැ රූගත කර තරුණියක හෝ ජෝඩුව බියකර මුදල් ඉල්ලීම (කප්පම් ගැනීම) නැතහොත් එකී තරුණිය ලිංගික කටයුතු සඳහා පොළඹවා ගැනීම කාමර කඩවල සිදුවන බව කිව යුතුය. එමෙන්ම සමහර ලැගුම්හල්වල කාමර තුළ ඇති කණ්‌ණාඩි ද්විත්ව කණ්‌ණාඩි (ඩබල් මිරර්) ලෙස සවිකර ඇත. එහිදී කාමරය තුළ සිටින්නාට එය මුහුණ බලන කණ්‌ණාඩියක්‌ ලෙස පෙනුනද ඇත්තෙන්ම සිදුවන්නේ එහි පිටුපස සිටින පුද්ගලයකුට හෝ පුද්ගලයන්ට කාමරය තුළ සිදුවන දැ පැහැදිලිව නිරීක්‍ෂණය කිරීමට හැකියාව තිබේ. තවත් කාමර වල නොපෙනෙන ආකාරයෙන් සකසන ලද සිදුරුය. මේ සිදුරුවලින් ඇතුළත සිදුවන දේ බලා වින්දනයක්‌ ලබන පුද්ගලයන් බහුලය. සමහර විට එසේ බලන්නට සලස්‌වා ඒ අයගෙන් මුදල් අය කිරීම ද සිදු කරයි. බරපතළම කාරණ වන්නේ මේ කොයි ක්‍රමයෙන් වුව කාමරයක්‌ තුළ සිදුවන දැ රූගත කර ඒවා අන්තර්ජාලයට මුදා හැරීමය. ඊට පසුව කොයි ජෝඩුවට වුව නැවත පාරේ බැස යැමට හැකියාවක්‌ ලැබෙන්නේ නැත. ගම්පහ බොහොමයක්‌ කාමර කඩ ඇත්තේ ටියුෂන් පංති සමීපයේ ය. වැටෙන් පැන්න විට කාමරයට රිංගා ගත හැකිය. මේවා කිසිවකුත් නොදන්නා කාරණා නොවේ.

මේ කාම (ර) කඩ අතිශය අපිරිසිදුය. බොහෝ ඇඳ ඇතිරිලි පවිත්‍ර කරන ලද දිනය සොයන්නට පුරාවිද්‍යාවෙන් ගෙන්විය යුතුය. කරන එකම දේ ඇඳ ඇතිරිල්ලේ පැත්ත මාරු කිරීමත්, උඩයට මාරු කිරීමත් පමණි. සමහර විට කාමරයෙන් කාමරයට ඇඳ ඇතිරිලි මාරුවේ. බැරිවෙලා හෝ ඒවා පරිහරණය කරන අයෙකුට චර්ම රෝගයක්‌ හෝ සමාජ රෝගයක්‌ වැළඳුනහොත් අබ සරණය. කාමර ඇතුළත හෝ පිටත පිහිටා ඇති වැසිකිළිය දෙවැනි වන්නේ මහජන වැසිකිළියකට පමණි. ආ කාරියට ගතවන්නේ සුළු වේලාවක්‌ නිසා “පාරිභෝගිකයා” මේවා ගැන හිතන්නේ නැත. සමහර කාම(ර) කඩවලට වඩා අපාය පිරිසිදු බව ස්‌ථිරවම කිව හැකිය.

ලැබෙන ආදායම හොඳ නිසා ගම්පහ පුරවරයේ බොහෝ පිරිස තමන්ගේ නිවසේ කාමර පවා කුලියට දීමට පටන් ගෙන තිබේ. ඒවා ද කාමර (Rooms) ය. කාමරය පැයකට දෙකකට කුලියට දුන් විට දවසේ ආදායම ගොඩය. මේ ගෙස්‌ට්‌ හවුස්‌ වලින් හොඳම ආදායම උපයන අතරමැදියෝ වන්නේ කුලී රථ, ත්‍රිරෝද රථ රියෑදුරන්වන්නාහ. ලිංගික ශ්‍රමිකයන්, ගනුදෙනුකරුවන් ප්‍රවේශමෙන් අදාළ තැනට ගෙන යැම ඔවුන්ගේ කාර්යයයි. සමහර කාමර ලබාගත හැක්‌කේ මේ අතමැදියන්ගෙන් පමණි. ඔවුන් කාමර හිමිකරුවන්ගෙන් ද සේවය ලබාගන්නා අයගෙන් ද යනුවෙන් දෙපාර්ශ්වයෙන්ම ගසා කන්නට සමත්ය.

අප මුලින් කීවා සේ පොලිසිය මේ ගැන හරි හැටි අවධානයක්‌ යොමු නොකරන්නේ කාම(ර) කඩ සැප ඒ උදවිය ද විඳින නිසාදැයි නොදනිමු. එහෙත් මෙය ඉක්‌මනින් මර්දනය කළ යුතු තත්ත්වයකි.

මධුෂාණි කොඩිතුවක්‌කු

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar