ස්වභාවික ප්‍රජනනයේ වැදගත්කම හෙළි වේ

Reveals the importance of natural propagationලිංගිකත්වය, මිනිස් වර්ගයාගේ වැදගත් සංකල්පයක්. ඒ හා බැඳී පවතින ප්‍රජනන ක්‍රියාවලිය, මිනිස් සංහතියේ අනාගතය තීරණය කරවනවා. සාමාන්‍යයෙන් ප්‍රජනන ක්‍රියාවලිය ඇරඹෙන්නේ ගැහැණු – පිරිමි දෙදෙනෙකු ලිංගිකව එක් වීමෙන්. නමුත් වෛද්‍ය විද්‍යාවෙහි හා තාක්ෂණයෙහි දියුණුවත් සමඟ, ලිංගික එක්වීමකින් තොරව සිදුවන දරු උපත් ද අද වන විට සුලබයි. මෙවැනි කෘත්‍රිම ප්‍රජනන ක්‍රියාවලි සමාජගත වන්නට බොහෝ හේතු ඇතත්, මානව සමාජයේ ජීවත් වන සියලු දෙනා එක ලෙස ලිංගික සරු බවින් යුතු නොවීම සහ නවීන ලෝකය තුළ සමාජීය ආකල්ප වල ඇති වී ඇති වෙනස්කම්, මීට ප්‍රධාන වශයෙන් බලපානවා.

කෘත්‍රිම ප්‍රජනන ක්‍රමවල අයහපත් බවක් ගැන මෙතෙක් ලොව තුළ එතරම් කතාබහට ලක්ව නොතිබූ නමුත්, කෘත්‍රිම ප්‍රජනනයට වඩා ස්වභාවිකව සිදුවන ප්‍රජනනයෙහි ඇති යහපත් ප්‍රවණතා පිළිබඳ, පසුගිය දා ජාත්‍යන්තර පාරිසරික සඟරාවේ පළ වූ ලිපියකින් හෙළි කර තිබෙනවා.

මෙම කරුණු අනාවරණය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද පරීක්ෂණයකට පසුවයි. මහාචාර්ය මැට් ගේජ් විසින් මෙම පරීක්ෂණය මෙහෙයවා තිබෙනවා. පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන, චාල්ස් ඩාවින් විසින් පෙන්වා දුන් ආකාරයට, කාන්තාව සහ පිරිමියා විසින් අහඹු ජාන එකතුවක් සම සමව ලබා දීමක් ස්වභාවික ප්‍රජනනයේ දී සිදුවනවා. මහාචාර්ය ගේජ් විසින්, එම ක්‍රියාවලියෙහි වැදගත්කම මැන බැලීම සඳහා විවිධ වර්ගවලට අයත් කුරුමිණියන් යොදාගෙන වසර 10කට අධික කාලයක් පුරා මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.

කෘත්‍රිම ක්‍රම වලින් බිහි කල සත්වයින්ට වඩා, ස්වභාවිකව බිහි වුණ සත්වයන් හට, ජීවන අරගලයට මුහුණ දීමේ වැඩි හැකියාවක් පවතින බවත්, වසර 7ක කාලයක් තුළ බිහි වුණ පරම්පරා 50කට පසු, ගැහැණු සතුන් හා ලිංගිකව එක් වීම පිණිස සාර්ථකව සටන් කරන පිරිමි සතුන් සියල්ල, ස්වභාවිකව බිහි වූවන් බවත් පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා. එමෙන්ම එම සතුන් ඉතා හොඳ ශරීර සෞඛ්‍යකට සහ රෝගවලට ඔරොත්තුදීමේ හැකියාවෙන් ද පොහොසත් බවයි වාර්තා වන්නේ. වැඩි දුරටත් අදහස් දක්වා ඇති පර්යේෂකයන් සඳහන් කොට ඇත්තේ, කෘත්‍රිම ප්‍රජනන ක්‍රම මගින් බිහි වූ සතුන්, පරම්පරා 10ක කාලයක් තුළ වඳ වී යාම සිදු වූ බව යි. ස්වභාවික ප්‍රජනනයේ දී සිදුවන අහඹු ජාන එකතුව මඟින් අනාගත වර්ගයාගේ පැවැත්මට කැපී පෙනෙන මෙහෙවරක් ඉටු වන බවත්, විවිධ වූ අයහපත් තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි සත්ව ප්‍රජාවක් බිහි වන්නේ ස්වභාවික ප්‍රජනනයෙන් බවත් අවසානයේ දී මෙම පරීක්ෂණයෙන් ඔප්පු කර තිබෙනවා.

(under the courtesy of asianmirror news web)

Share this post:

Recent Posts

Leave a Comment